Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Archive for ජූලි, 2013

චූ, කක්කා සහ ලිංගික චර්යා ගැන රහසක් | The wilder side of sex

Posted by dawkinssdodo මත ජූලි 19, 2013



මිනිසුන්ගේ “අසාමාන්‍ය” ලිංගික චර්යාවන් අප පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළද, ඇත්ත නම් ඒ බොහෝ චර්යාවන් සත්ව ලෝකය තුළ දක්නට හැකි වීමය.


ප්‍රේම සම්බන්ධතා මෙන්ම ලිංගික ක්‍රියාවන්ද ඉතා සංකීර්ණය. අති සාර්ථක පෙම් සබදතා පවා වරදවා වටහාගැනීම් වලින් පලුදු වීමේ අවදානම ඉතාම ඉහළය. එවන් පසුබිමක, ඔබේ ලිංගික ෆැන්ටසිය සාමාන්‍ය සංස්කෘතික සීමාවන්ගෙන් පරිබාහිර අසම්මත එකක් බව ඔබේ සහකරුට කියන්නට සිදුවුවහොත්??


එහෙත් රහසක් එළි කරන්නටයි මේ සූදානම. සමාජ නිර්ණායක අනුව “අසම්මත” යැයි ගැනෙන “සාමාන්‍ය” ලිංගික චර්යාවෙන් අපගමනය වූ බොහෝ ලිංගික ක්‍රියාකාරකම් සත්වලෝකයේ යම් විශේෂයක එදිනෙදා “සාමාන්‍ය” ලිංගික චර්යාවන් බවට ඔබට චකිතයකින් තොරව සහතික විය හැකියි. නිදන කාමරයේ ආහාර සමඟ කරන සෙල්ලම් හෝ අසාමාන්‍ය තැන් වලදී කරන ලිංගික එක්වීම් ආදිය නොව ඊටත් එහා සංස්කෘතික සහ සමාජීය මායිම් බිඳ දමන්නට ඔබ සුදානම් නම් ඔබට බොහෝවිට සත්ව ලෝකය තුළ එය දැනටමත් සිදුවන බව පෙනෙනු ඇත.


උදාහරණයක් ලෙස ජිරාෆයන් ගන්න. පිරිමි ජිරාෆයා තමාට සුදුසු සහකාරිය තෝරාගන්නේ ඇයගේ මුත්‍රා “රස බැලීමෙනි”! ගැහැණු ජිරාෆිය මේ මුත්‍රා පරීක්ෂණයට අවනත වන බවයි පර්යේෂකයන් වන ඩේවිඩ් ප්‍රැට් සහ ව’ජිනියා ඇන්ඩ’සන් පෙන්වා දෙන්නේ. ජිරාෆයා තම හොම්බ ජිරාෆියගේ නිතඹේ අතුල්ලන විට ජිරාෆිය මුත්‍රා දහරාවක් විදී. ජිරාෆයා මේ මුත්‍රා දහරාවට මුව තබා මුත්‍රා රස විඳියි. යම් ලෙසකින් ජිරාෆිය පිරිමි සතෙකුට විශේෂ ආකර්ෂණයක් ඇත්නම් (හොම්බෙන් ඇනීමකින්, ඇතිල්ලීමකින් තොරව ) පිරිමි සතා තමා ළඟින් යන විට මුත්‍රා කරනු ඇත. Urolagnia හෙවත් රන් දිය දහර (Golden showers) යනුවෙන් හඳුන්වන ලිංගික චර්යාව තව දුරටත් මිනිසුන්ගේ නිර්මාණයක් නොවන බව පෙනේ.


ජිරාෆයන්ගේ සමාජ තීරණ මුත්‍රා මත නිර්ණය වෙද්දී හිපපොටේමසයන් මළපහ මත විශ්වාසය තබයි. මළපහ-වැස්සේ කෘත්‍ය සහ අරමුණ තාමත් අවබෝධ කරගෙන ඇත්තේ අඩ වශයෙන් බවයි, ජීව විද්‍යාඥ රිචඩ් එස්ටීස් ගේ මතය. ප්‍රමුඛ පිරිමි සතා තම ප්‍රදේශයේ මායිම් ලකුණු කිරීමට මළපහ කරන බව පැහැදිලි කරුණකි. ඇල්බ’ටා සරසවියේ ඊ.එල්. කාර්ස්ටඩ් සහ ආර්. ජේ හඩ්සන් විස්තර කරන ආකාරයට ප්‍රමුඛ හිපපොටේමසයා ගං ඉවුර මතට සරුසාර මළපහ ප්‍රමාණයක් දමන අතරම තම වලිගය දැඩිව වනමින් ඒ මළපහ මීටර් දෙකක් තරම් දුරට විසිරුවා හරියි. එහෙත් මළපහ විසුරුවා හැරීම තම බල ප්‍රදේශය ලකුණු කිරීමට පමණක් සීමා නොවන බව ඔවුන්ගේ මතයයි. ප්‍රමුඛ පිරිමි හිපපොටේමසයා ගැහැණු සතුන් වෙත පැමිණෙන විට ගැහැණු සතුන් ප්‍රතිචාර දක්වන්නේ පසෙකට හැරී හිස බිමට නවා නිතඹ උස්සා මළපහ කරන අතරම වලිගය සෙමෙන් වැනීමෙන්ය. මෙවැනි අවස්ථාවල මළපහ විසුරුවා හැරීම යටහත්පහත් බව සංකේතවත් කරයි. Coprophilia යනුවෙන් හැදින්වෙන මළපහ සම්බන්ධ මිනිස් ලිංගික චර්යාවන් ඇමරිකානු මනෝ චිකිත්සා සංගමයේ මානසික ආබාධ අත්පොතේ ද (DSM) වර්ගීකරණය කර ඇතිමුත් රෝග විනිශ්චයේදී, මෙම ක්‍රියා සුවිශේෂී සායනික මට්ටමේ පිඩාවකට පත්කරන, හෝ සමාජ සහ වෘත්තීය ක්‍රියාකාරීත්වයන්ට හානි කරන විට පමණක් සලකා බැලේ.


ලිංගික ෆැන්ටසි, මුත්‍රා සහ මළපහ වලට පමණක් සීමා නොවේ. සමහරු ගොරහැඩි, කර්කශ ලිංගික ක්‍රියාවලට කැමැත්තක් දැක්වුවත් එක්තරා මෝරුන් විශේෂයක (Carcharhinus melanopterus) ලිංගික චර්යාවට සම කරන්නට නම් මිනිසුන්ට නොහැකි වනු ඇති. ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥ ඩග්ලස් ජේ. මැකාවුලේ ප්‍රධාන පර්යේෂකයන් විස්තර කරන අන්දමට පිරිමි මෝරා ගැහැණු මොරාගේ පසුපස වරල සපාකමින් තම ග්‍රහණයට නතු කර ගනී. මින් පිහිනීමේ වේගය මන්දනය වන අතර නැවතත් පිරිමි මෝරා ළය පෙදෙස සපාකමින් ගැහැණු මෝරාව ග්‍රහණය කර මුහුදු පහුලේ වැලි මතට යොමුකරවමින් තත්පර 68 කදී පමණ ලිංගික ක්‍රියාව නිමකරයි. මෝරුන් පිළිබඳ විද්‍යාඥයෙක් වන ඩේවිඩ් සිෆ්මන් ට අනුව “ලිස්සන සුලු පරිසරයකදී” සපාකෑම ලිංගික ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් බවට පත්වේ. විශේෂ විශාල ගණනක ගැහැණු මෝරුන්ගේ සම ඝණකම් වන ආකාරයෙන් පරිණාමය වී ඇත්තේ මේ සපා කෑමට ඔරොත්තු දීම සඳහාය.


සත්ව ලෝකයේ සමූහ ලිංගික ක්‍රියා (Group sex) විද්‍යාමාන වන්නේ තවත් පරිණාමික උපායක් ලෙසය. දකුණු මැණිබෝටාවේ වෙසෙන සර්ප විශේෂයක් (Thamnophis sirtalis parietalis) සිසිර තරණ නිද්‍රාවෙන් පසු, දහස් ගණනින් පොළොව යටින් මතු වී, “සංවාස බෝලයක්” බවට පත්වේ. මෙහිදී සිදුවන්නේ ගැහැණු සර්පයා විසින් පිරිමි ආකර්ෂණය කරන ෆෙරමෝනයක් නිකුත් කරමින් සිය ගණනින් පිරිමි සර්පයින් තමන් වෙතට ගෙන්වා ගැනීමයි. සමහර පිරිමි සර්පයින් ගැහැණු සර්පයින් මෙන් වෙස්වලාගනිමින් ගැහැණු ෆෙරමෝන නිකුත් කරයි. මෙ නිසා තවත් පිරිමි සතුන් ආකර්ෂණය වීමෙන් ලිංගික ක්‍රියාවලිය උත්තේජනය කරන අතර අඩුකාලයක් තුළ ලිංගික ක්‍රියාවලිය අවසාන වන බැවින් විලෝපියන්ට ගොදුරක් වීමේ සම්භාවිතාව අඩුවේ. මෙම “පිරිමි-ගැහැණු වෙස් මාරුව” (Cross dressing) සමහර මිනිසුන්ගේ ලිංගික චර්යාවේ කොටසකි.

නැගෙනහිර ඔස්ට්‍රේලියානු මුහුදු තීරයේ දැල්ලන් විශේෂයක් (Sepia plangon) මේ පිරිමි-ගැහැණු වෙස් මාරුව නව අන්තයකට ගෙනයයි. ගැහැණු සතා ආකර්ෂණය කර ගැනීමට පිරිමි සතා තම සමේ වර්ණක වලින් විශේෂ රටාවක් මවමින් අනඟ රැගුම් පායි. තරඟකාරී වෙනත් පිරිමි දැල්ලෙක් පැමිණි විට එම ප්‍රතිවාදී දැල්ලාට මුහුණලා ඇති පැත්තේ ඇති සමේ වර්ණක රටාව වෙනස් කරමින් තමන් ගැහැණු දැල්ලෙක් බව අඟවයි. නමුත් ගැහැණු දැල්ලාට තවමත් අනඟ රැගුම්-රටාව පෙනේ. ප්‍රතිවාදී දැල්ලා දකින්නේ ගැහැණු සතුන් දෙදෙනෙක් බැවින්ද, තරඟකාරීත්වයක් නොමැති බැවින්ද ජෝඩුව හැර යයි. මේ නිසා මුලින් ආ පිරිමි දැල්ලාගේ ලිංගික ක්‍රියාවලිය බාධාවකින් තොරව සම්පූර්ණ කර ගැනීමට ඉඩ ලැබේ.


අප ජීවත්වන සමාජය සමහර ලිංගික චර්යාවන් හෙළා දකිනු ඇත්තේ එවා විකාර, අසම්මත, අද්භූත, අශික්ෂිත හෝ නිකම්ම මෝඩ වැඩ ලෙස සැලකීමෙනි. එහෙත් විචාරශීලිව සත්ව ලෝකය නිරීක්ෂණය කරන්නෙකුට, මඳක් “සම්මතයෙන්” අපගමනය වූ මෙම මිනිස් චර්යාවන් තවත් නව දෘෂ්ටිකෝණයකින් දකින්නට ඉඩ හසර පාදනු ඇත්තේය. සමහරවිටෙක ඉතාම ඕනෑකමින් බැලුවොත් අප සහ අපේ මිනිස්-නොවන ඥාතී සත්වයන් සම්බන්ධ කරන රැහැනක සේයාවක් දකින්නට හැකිවනු නොඅනුමානයි. ඒ චර්යාවන් කොතරම් ඔබ පිළිකුලට පත්කළද, ඔබ පිළිගත් සදාචාරවාදී සම්මතයන්ට අභියෝගයක් වුවද ඒ අදිසි රැහැන ප්‍රතික්ෂේප කරන්නට ඔබට නොහැකිවනු ඇත.


මේ ලිපිය බී.බී.සී අඩවියේ පළවු ජේසන් ජී. ගෝල්ඩ්මන් විසින් ලියන ලද The wilder side of sex ඇසුරෙන් ලියැවුණි.
පින්තූරය – wikimedia.org

Posted in Atheism, Biology, Culture, Evolution, Freedom of expression, Life, Philosophy, religion, Science, sex | Tagged: , , , , , , , , , , , , , , | 18 Comments »

ඇත්තක අරුමය – රාවයෙන් විද්‍යා සාහිත්‍යයට තල්ලුවක්

Posted by dawkinssdodo මත ජූලි 12, 2013

 

 

රාවය ප්‍රකාශන විසින් රිචඩ් ඩෝකින්ස්ගේ The Magic of reality නැමැති පොතේ සිංහල පරිවර්තනය “ඇත්තක අරුමය” නමින් එළිදක්වා තිබේ. පරිවර්තනය ප්‍රවීණ මාධ්‍යවේදී විජයානන්ද ජයවීර විසිනි. විද්‍යාව සහ විද්‍යාත්මක විධි ක්‍රමය ගැන ප්‍රශ්න කෙරෙන ලාංකීය වටපිටාවක ප්‍රකාශකයන් මේ පොත හඳුන්වන්නේ විද්‍යාව සහ විද්‍යාත්මක ප්‍රවේශය පිළිබඳ ලි‍යැවුන හොඳම පොතක් ලෙසයි. පොත එළිදැක්වීමට සමගාමීව “ඇත්තක අරුමය සහ හේතුවාදී සාහිත්‍යය” යන මැයෙන් දේශනයක් ජූලි 19 සවස 4ට ආචාර්ය එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැත්වේ. දේශනය පවත්වන්නේ ප්‍රවීණ විද්‍යා ලේඛක එස්. එම්. බන්දුසීල විසිනි.

 

ra1

ra2

Posted in Biology, Culture, Evolution, Language, Philosophy, Richard Dawkins, Science | Tagged: , , , , , , , , | 6 Comments »