Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Archive for the ‘Life’ Category

චූ, කක්කා සහ ලිංගික චර්යා ගැන රහසක් | The wilder side of sex

Posted by dawkinssdodo මත ජූලි 19, 2013



මිනිසුන්ගේ “අසාමාන්‍ය” ලිංගික චර්යාවන් අප පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළද, ඇත්ත නම් ඒ බොහෝ චර්යාවන් සත්ව ලෝකය තුළ දක්නට හැකි වීමය.


ප්‍රේම සම්බන්ධතා මෙන්ම ලිංගික ක්‍රියාවන්ද ඉතා සංකීර්ණය. අති සාර්ථක පෙම් සබදතා පවා වරදවා වටහාගැනීම් වලින් පලුදු වීමේ අවදානම ඉතාම ඉහළය. එවන් පසුබිමක, ඔබේ ලිංගික ෆැන්ටසිය සාමාන්‍ය සංස්කෘතික සීමාවන්ගෙන් පරිබාහිර අසම්මත එකක් බව ඔබේ සහකරුට කියන්නට සිදුවුවහොත්??


එහෙත් රහසක් එළි කරන්නටයි මේ සූදානම. සමාජ නිර්ණායක අනුව “අසම්මත” යැයි ගැනෙන “සාමාන්‍ය” ලිංගික චර්යාවෙන් අපගමනය වූ බොහෝ ලිංගික ක්‍රියාකාරකම් සත්වලෝකයේ යම් විශේෂයක එදිනෙදා “සාමාන්‍ය” ලිංගික චර්යාවන් බවට ඔබට චකිතයකින් තොරව සහතික විය හැකියි. නිදන කාමරයේ ආහාර සමඟ කරන සෙල්ලම් හෝ අසාමාන්‍ය තැන් වලදී කරන ලිංගික එක්වීම් ආදිය නොව ඊටත් එහා සංස්කෘතික සහ සමාජීය මායිම් බිඳ දමන්නට ඔබ සුදානම් නම් ඔබට බොහෝවිට සත්ව ලෝකය තුළ එය දැනටමත් සිදුවන බව පෙනෙනු ඇත.


උදාහරණයක් ලෙස ජිරාෆයන් ගන්න. පිරිමි ජිරාෆයා තමාට සුදුසු සහකාරිය තෝරාගන්නේ ඇයගේ මුත්‍රා “රස බැලීමෙනි”! ගැහැණු ජිරාෆිය මේ මුත්‍රා පරීක්ෂණයට අවනත වන බවයි පර්යේෂකයන් වන ඩේවිඩ් ප්‍රැට් සහ ව’ජිනියා ඇන්ඩ’සන් පෙන්වා දෙන්නේ. ජිරාෆයා තම හොම්බ ජිරාෆියගේ නිතඹේ අතුල්ලන විට ජිරාෆිය මුත්‍රා දහරාවක් විදී. ජිරාෆයා මේ මුත්‍රා දහරාවට මුව තබා මුත්‍රා රස විඳියි. යම් ලෙසකින් ජිරාෆිය පිරිමි සතෙකුට විශේෂ ආකර්ෂණයක් ඇත්නම් (හොම්බෙන් ඇනීමකින්, ඇතිල්ලීමකින් තොරව ) පිරිමි සතා තමා ළඟින් යන විට මුත්‍රා කරනු ඇත. Urolagnia හෙවත් රන් දිය දහර (Golden showers) යනුවෙන් හඳුන්වන ලිංගික චර්යාව තව දුරටත් මිනිසුන්ගේ නිර්මාණයක් නොවන බව පෙනේ.


ජිරාෆයන්ගේ සමාජ තීරණ මුත්‍රා මත නිර්ණය වෙද්දී හිපපොටේමසයන් මළපහ මත විශ්වාසය තබයි. මළපහ-වැස්සේ කෘත්‍ය සහ අරමුණ තාමත් අවබෝධ කරගෙන ඇත්තේ අඩ වශයෙන් බවයි, ජීව විද්‍යාඥ රිචඩ් එස්ටීස් ගේ මතය. ප්‍රමුඛ පිරිමි සතා තම ප්‍රදේශයේ මායිම් ලකුණු කිරීමට මළපහ කරන බව පැහැදිලි කරුණකි. ඇල්බ’ටා සරසවියේ ඊ.එල්. කාර්ස්ටඩ් සහ ආර්. ජේ හඩ්සන් විස්තර කරන ආකාරයට ප්‍රමුඛ හිපපොටේමසයා ගං ඉවුර මතට සරුසාර මළපහ ප්‍රමාණයක් දමන අතරම තම වලිගය දැඩිව වනමින් ඒ මළපහ මීටර් දෙකක් තරම් දුරට විසිරුවා හරියි. එහෙත් මළපහ විසුරුවා හැරීම තම බල ප්‍රදේශය ලකුණු කිරීමට පමණක් සීමා නොවන බව ඔවුන්ගේ මතයයි. ප්‍රමුඛ පිරිමි හිපපොටේමසයා ගැහැණු සතුන් වෙත පැමිණෙන විට ගැහැණු සතුන් ප්‍රතිචාර දක්වන්නේ පසෙකට හැරී හිස බිමට නවා නිතඹ උස්සා මළපහ කරන අතරම වලිගය සෙමෙන් වැනීමෙන්ය. මෙවැනි අවස්ථාවල මළපහ විසුරුවා හැරීම යටහත්පහත් බව සංකේතවත් කරයි. Coprophilia යනුවෙන් හැදින්වෙන මළපහ සම්බන්ධ මිනිස් ලිංගික චර්යාවන් ඇමරිකානු මනෝ චිකිත්සා සංගමයේ මානසික ආබාධ අත්පොතේ ද (DSM) වර්ගීකරණය කර ඇතිමුත් රෝග විනිශ්චයේදී, මෙම ක්‍රියා සුවිශේෂී සායනික මට්ටමේ පිඩාවකට පත්කරන, හෝ සමාජ සහ වෘත්තීය ක්‍රියාකාරීත්වයන්ට හානි කරන විට පමණක් සලකා බැලේ.


ලිංගික ෆැන්ටසි, මුත්‍රා සහ මළපහ වලට පමණක් සීමා නොවේ. සමහරු ගොරහැඩි, කර්කශ ලිංගික ක්‍රියාවලට කැමැත්තක් දැක්වුවත් එක්තරා මෝරුන් විශේෂයක (Carcharhinus melanopterus) ලිංගික චර්යාවට සම කරන්නට නම් මිනිසුන්ට නොහැකි වනු ඇති. ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාඥ ඩග්ලස් ජේ. මැකාවුලේ ප්‍රධාන පර්යේෂකයන් විස්තර කරන අන්දමට පිරිමි මෝරා ගැහැණු මොරාගේ පසුපස වරල සපාකමින් තම ග්‍රහණයට නතු කර ගනී. මින් පිහිනීමේ වේගය මන්දනය වන අතර නැවතත් පිරිමි මෝරා ළය පෙදෙස සපාකමින් ගැහැණු මෝරාව ග්‍රහණය කර මුහුදු පහුලේ වැලි මතට යොමුකරවමින් තත්පර 68 කදී පමණ ලිංගික ක්‍රියාව නිමකරයි. මෝරුන් පිළිබඳ විද්‍යාඥයෙක් වන ඩේවිඩ් සිෆ්මන් ට අනුව “ලිස්සන සුලු පරිසරයකදී” සපාකෑම ලිංගික ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් බවට පත්වේ. විශේෂ විශාල ගණනක ගැහැණු මෝරුන්ගේ සම ඝණකම් වන ආකාරයෙන් පරිණාමය වී ඇත්තේ මේ සපා කෑමට ඔරොත්තු දීම සඳහාය.


සත්ව ලෝකයේ සමූහ ලිංගික ක්‍රියා (Group sex) විද්‍යාමාන වන්නේ තවත් පරිණාමික උපායක් ලෙසය. දකුණු මැණිබෝටාවේ වෙසෙන සර්ප විශේෂයක් (Thamnophis sirtalis parietalis) සිසිර තරණ නිද්‍රාවෙන් පසු, දහස් ගණනින් පොළොව යටින් මතු වී, “සංවාස බෝලයක්” බවට පත්වේ. මෙහිදී සිදුවන්නේ ගැහැණු සර්පයා විසින් පිරිමි ආකර්ෂණය කරන ෆෙරමෝනයක් නිකුත් කරමින් සිය ගණනින් පිරිමි සර්පයින් තමන් වෙතට ගෙන්වා ගැනීමයි. සමහර පිරිමි සර්පයින් ගැහැණු සර්පයින් මෙන් වෙස්වලාගනිමින් ගැහැණු ෆෙරමෝන නිකුත් කරයි. මෙ නිසා තවත් පිරිමි සතුන් ආකර්ෂණය වීමෙන් ලිංගික ක්‍රියාවලිය උත්තේජනය කරන අතර අඩුකාලයක් තුළ ලිංගික ක්‍රියාවලිය අවසාන වන බැවින් විලෝපියන්ට ගොදුරක් වීමේ සම්භාවිතාව අඩුවේ. මෙම “පිරිමි-ගැහැණු වෙස් මාරුව” (Cross dressing) සමහර මිනිසුන්ගේ ලිංගික චර්යාවේ කොටසකි.

නැගෙනහිර ඔස්ට්‍රේලියානු මුහුදු තීරයේ දැල්ලන් විශේෂයක් (Sepia plangon) මේ පිරිමි-ගැහැණු වෙස් මාරුව නව අන්තයකට ගෙනයයි. ගැහැණු සතා ආකර්ෂණය කර ගැනීමට පිරිමි සතා තම සමේ වර්ණක වලින් විශේෂ රටාවක් මවමින් අනඟ රැගුම් පායි. තරඟකාරී වෙනත් පිරිමි දැල්ලෙක් පැමිණි විට එම ප්‍රතිවාදී දැල්ලාට මුහුණලා ඇති පැත්තේ ඇති සමේ වර්ණක රටාව වෙනස් කරමින් තමන් ගැහැණු දැල්ලෙක් බව අඟවයි. නමුත් ගැහැණු දැල්ලාට තවමත් අනඟ රැගුම්-රටාව පෙනේ. ප්‍රතිවාදී දැල්ලා දකින්නේ ගැහැණු සතුන් දෙදෙනෙක් බැවින්ද, තරඟකාරීත්වයක් නොමැති බැවින්ද ජෝඩුව හැර යයි. මේ නිසා මුලින් ආ පිරිමි දැල්ලාගේ ලිංගික ක්‍රියාවලිය බාධාවකින් තොරව සම්පූර්ණ කර ගැනීමට ඉඩ ලැබේ.


අප ජීවත්වන සමාජය සමහර ලිංගික චර්යාවන් හෙළා දකිනු ඇත්තේ එවා විකාර, අසම්මත, අද්භූත, අශික්ෂිත හෝ නිකම්ම මෝඩ වැඩ ලෙස සැලකීමෙනි. එහෙත් විචාරශීලිව සත්ව ලෝකය නිරීක්ෂණය කරන්නෙකුට, මඳක් “සම්මතයෙන්” අපගමනය වූ මෙම මිනිස් චර්යාවන් තවත් නව දෘෂ්ටිකෝණයකින් දකින්නට ඉඩ හසර පාදනු ඇත්තේය. සමහරවිටෙක ඉතාම ඕනෑකමින් බැලුවොත් අප සහ අපේ මිනිස්-නොවන ඥාතී සත්වයන් සම්බන්ධ කරන රැහැනක සේයාවක් දකින්නට හැකිවනු නොඅනුමානයි. ඒ චර්යාවන් කොතරම් ඔබ පිළිකුලට පත්කළද, ඔබ පිළිගත් සදාචාරවාදී සම්මතයන්ට අභියෝගයක් වුවද ඒ අදිසි රැහැන ප්‍රතික්ෂේප කරන්නට ඔබට නොහැකිවනු ඇත.


මේ ලිපිය බී.බී.සී අඩවියේ පළවු ජේසන් ජී. ගෝල්ඩ්මන් විසින් ලියන ලද The wilder side of sex ඇසුරෙන් ලියැවුණි.
පින්තූරය – wikimedia.org

Posted in Atheism, Biology, Culture, Evolution, Freedom of expression, Life, Philosophy, religion, Science, sex | Tagged: , , , , , , , , , , , , , , | 18 Comments »

මරණයට ඇති අයිතිය| Right to Die – බීට්ල් ට තල්ලුවක්!

Posted by dawkinssdodo මත අගෝස්තු 27, 2012

සංවේදී පාඨකයින් මෙහි දක්වා ඇති හෝ මෙහි නම් කරන සිනමා පට/විඩියෝ බැලිමේදී සැලකිලිමත් වන්න!!

බීටල් විසින් මැතකදී ලියන ලද අසා මිනිසෙක් මළ පුවත අද..හඬමි සතුටින් පළමු වර මම යන සටහන මරණයට ඇති අයිතිය පිළිබඳ අපේ කියවීම නැවතත් ප්‍රශ්න කිරීමට යොමු කරවයි. ඒ පිළිබඳ සාකච්ඡාවක අවශ්‍යතාවය මතු කිරීම අගනේය.


කැනේඩියානු සිනමා කරුවෙකු වන ජෝන් සරිට්ස්කි (John Zaritsky) මේ පිළිබඳ ඉතාම (අ?)සංවේදී සිනමාපටයක් (Right to Die?/The Suicide Tourist) නිර්මාණය කරමින් පවසන්නේ මරණය සිදුවන අවසන් මොහොත නොපෙන්වීම අවංක ව්‍යායාමයක් නොවන බවයි. අවුරුදු 59 ක් වන ක්‍රේග් එවර්ට් (Craig Ewert) මාරාන්තික මාත්‍රාවක් ශරීර ගත කරගනිමින් මරණයට පත් වන ආකාරය මේ සිනමා පටයට ඇතුළත් කර තිබුණි.


ක්‍රේග් දෙදරු පියෙකි. උතුරු යෝර්ක්ෂයර් සිට ස්විට්සර්ලන්තයට ගොස්, එහි “ඩිග්නිටාස්” (Dignitas) නැමැති සංවිධානයේ ආධාරයෙන් තම ජීවිතය නැති කරගනිද්දී ස්නායු රෝගයකින් දැඩිව දුක් විඳිමින් සිටියේය. ඩිග්නිටාස් සංවිධානය මාරන්තික ලෙඩ රෝග සහ දැඩි මානසික සහ ශාරීරික පීඩා විඳින්නන්ට මරණය උදා කරගැනීම සඳහා උදව් වේ.


චිත්‍රපටය නිර්මාණය කිරීමේදී ඔහු ක්‍රේග් සහ බිරිඳට ඉතාම සමීප වූ බවත්, නිර්මාණය කිරීම ඉතාම සංවේදී එකක් වූ බවත් සරිට්ස්කි පවසා තිබිණ. බලාපොරොත්තු වූ පරිදිම මේ චිත්‍රපටයට ආධාරක දිවිනසා ගැනීම (Assisted-Suicide/Euthanasia) ට විරුද්ධ කාණ්ඩායම් වලින් දැඩි පීඩනයක් එල්ල විය.


ක්‍රේග් ගේ අවසාන මොහොත ඇතුළත් කිරීම අසංවේදී බවට චෝදනා එල්ල වුණු අතර, කොපි-කැට් දිවිනසා ගැනීම් මේ නිසා වැඩි වේ යැයි චෝදනා කෙරුණි.



සරිට්ස්කි ගේ මතය වූයේ මේ චිත්‍රපටය “ආධාරක දිවිනසා ගැනීමේ ලෝකයට” ප්‍රේක්ෂකයන් ගෙන යන බවත්, යම් කලෙක “ආධාරක දිවිනසා ගැනීම” නීතිගත වුවහොත් ඇති වන තත්වය ගැන අවබෝධයක් ලබා ගත හැකි බවත්ය. බටහිර රටවල 70% ක් පමණදෙනා මීට කැමති බව ඔහුගේ මතය විය.


දිවිනසා ගැනීම උත්කර්ෂයට නැංවීම හෙළා දැකිය යුතු බවත් නො එසේනම්, එය සදාචාරාත්මකව අභියෝගයට ලක්විය යුතු බවත් ප්‍රාදේශීය මංත්‍රීවරයෙක් වන ෆිල් විලිස් ගේ මතය විය.


ආධාරක-දිවිනසා ගැන්ම ප්‍රචාරණය කිරීම නිසා විෂාදයෙන් පෙළෙන සහ දුර්වල පුද්ගලයන් මේ නිසා අනතුරෙහි හෙලා ඇති බව ගබ්සා-විරෝධී සංවිධානයක මතය විය. මෙය ඉතා භයානක ආදර්ශයක් දෙන බවත් දුර්වල අය අනතුරෙහි හෙලීමක් බවත් එවැනිම තවත් සංවිධානයක ප්‍රකාශිකාවක් තහවුරු කළේය.


ක්‍රේග් එවර්ට් ගේ බිරිඳ මේරි එවර්ට් ගේ මතය වූයේ මේ චිත්‍රපටය තම සැමියාට ගෞරවයක් බවයි.


“මම චිත්‍රපට කණ්ඩායමට පිටව යාමට කීවේ ක්‍රේග් මියගොස් පැය භාගෙකට පසුවයි. ඒ මට නිදහසේ අඬන්නට ඕනේ නිසායි. මිනිස්සු මේ චිත්‍රපටය නිසා මරණය ගැන කතා කරන්නට සිතන්නට පොළොඹවයි නම් එයයි ක්‍රේග් ගේ පැතුම වන්නට ඇත්තේත්” මේරි එවර්ට් පැවසුවේය.


2008 Telegraph ඇසුරෙනි.

Posted in Atheism, Culture, Life, religion, Science | Tagged: , , , , , , , | 12 Comments »

බීමත්කමට හේතුව ලිංගිකව..

Posted by dawkinssdodo මත අගෝස්තු 21, 2012



මෑතකදී පළවු මාතලන්ගේ විවාහක බේබද්දන් වෙනුවෙන් පළකරන ලද වටිනා උපදෙස් මාලාව මේ සටහනට පූර්විකාවක් විය.


තාරුණ්‍යයෙන් අගතැන්පත් ඔවුහු ලිංගික තෘප්තිය සොයමින් වට පිටාවේ ගැවසෙන සුකොමලියන් ඉදිරියේ අනඟ රැඟුම්, ඉඟි බිඟි පෑවේ වරක් දෙවරක් නොවේ. එහෙත් ඔවුන් එක වරක් දෙවරක් නොව දහ-දොළොස්වතාවක්ම මන බඳින රූමතියන් විසින් ප්‍රතික්ෂේප කෙරිණ. ඔවුන් කළේ ඒ ලිංගිකව ප්‍රතික්ෂේප වීමෙන් ඇති වූ තුවාලය, වේදනාව මද්‍යසාර වලින් සෝදා හැරීමයි.


මේ අපි දන්නා කවුරුන් හෝ ගැන කතාවක් නොව, Drosophila melanogaster නමින් හැඳින්වෙන පලතුරු මැස්සන් යොදා කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයකි.


පලතුරු මැස්සන් මද්‍යසාර බීමෙන් පසු ඔවුන්ගේ මොළයේ “විපාක/ප්‍රදාන” පත (Reward system) සක්‍රිය වී ඔවුන්ට “ප්‍රමෝදාත්මක” හැඟීමක් ඇතිවන බව පර්යේෂකයෝ මීට පෙර දැන සිටියහ. එසේම, සමාජ අන්තර් ක්‍රියා යනු, මේ “විපාක/ප්‍රදාන” පත උද්දීපනය කරවන අත්දැකීම් අතර ඉහළම ප්‍රීතියක්, ප්‍රමෝදයක් ලබාදෙන අත්දැකීමක් බවද ඔවුහු දැන සිටියහ. මේ ද්වි-ආකාර විපාක/ප්‍රදාන පත පද්ධතීන් එකිනෙකට සම්බන්ධ ද යන ප්‍රශ්නයට උත්තර සෙවීම මේ පර්යේෂණයේ අරමුණ විය.


පර්යේෂණයෙන් තහවුරු වූයේ, මැස්සියන් සමග ලිංගිකව එක් වීමට නොලැබුණ පලතුරු මැස්සන් මද්‍යසාර අඩංගු ආහාර තෝරා ගන්නා බවයි. මෙහි අනපේක්ෂිත සොයා ගැනීමක් වන්නේ ලිංගිකව එක් වීමට ලැබුණු පලතුරු මැස්සන් විසින් මද්‍යසාර අඩංගු ආහාර ප්‍රතික්ෂේප කිරීමයි.


නියුරෝපෙප්ටයිඩ් එෆ් (Neuropeptide F- NPF) යන ප්‍රෝටීනය පලතුරු මැස්සන්ගේ මද්‍යසාර වලට ඇති කැමත්ත නිර්ණය කරන්නක් බව තහවුරු වී තිබූ සාධකයකි. ලිංගිකව ප්‍රතික්ෂේපිත පලතුරු මැස්සන්ගේ NPF ග්‍රාහකය (NPF receptor- NPFR) සාමාන්‍ය මැස්සෙකුට වඩා අඩක්ම අඩුවී තිබුණි. NPF ග්‍රාහකය කෘතිමව අඩුකල විට ලිංගික තෘප්තිය ලැබූ මැස්සන්ද මද්‍යසාර වැඩියෙන් බොනු දක්නට ලැබුණි.


සමාජ-අන්තර් ක්‍රියාවන් NPF හරහා අණුක-ජීව ක්‍රියාවලියක් බවට පරිවර්තනය වීමත් මොළයේ අඩංගු NPF ප්‍රමාණය මද්‍යසාර වලට ලොල් බව තීරණය කරන, චර්යාව මෙහෙයවන සාධකයක් වීමත්, මේ පර්යේෂණයේ සිත් ගන්නා ප්‍රතිඵලයන්ය.


නියුරොපෙප්ටයිඩ් වයි (Neuropeptide Y- NPY) යන මැමේලියානු සමජාත ප්‍රෝටීනය (homologue), නින්ද, ලිංගික උනන්දුව, මද්‍යසාර භාවිතය, කාංසාව සහ ආතතිය ට සම්බන්ධ චර්යා හසුරුවන මොළයේ විවිධ ප්‍රදේශ වලට බලපාන අණුවකි.


Science ඇසුරෙනි

Posted in Biology, Cell biology, Evolution, Gene, Life, Molecular Biology, Philosophy, Science, sex | Tagged: , , , , , , , , , , | 17 Comments »

විකිපීඩියාව විසි හතර පැයකට අක්‍රියයි.

Posted by dawkinssdodo මත ජනවාරි 18, 2012

Imagine a World
Without Free Knowledge

For over a decade, we have spent millions of hours building the largest encyclopedia in human history. Right now, the U.S. Congress is considering legislation that could fatally damage the free and open Internet. For 24 hours, to raise awareness, we are blacking out Wikipedia
LEARN MORE

Posted in Culture, Freedom of expression, Life, Uncategorized | Tagged: , | 8 Comments »

රිචඩ් ඩෝකින්ස් ගාල්ලේදී ඔබ හමුවන වගයි !

Posted by dawkinssdodo මත ජනවාරි 12, 2012

ගාලු සාහිත්‍ය උත්සවයට පැමිනෙන රිචඩ් ඩෝකින්ස් ජනවාරි 20 වැනි දින 2.30 ට තම ජීවිතය සහ තම විවාදාත්මක වෘත්තිය පිලිබඳ දේශනයක් පැවැත්වීමට නියමිතයි. වැඩිදුර විස්තර ගාලු සාහිත්‍ය උත්සව වෙබ් අඩවියෙන්.


කවුද
මේ රිචඩ් ඩෝකින්ස්?

ඩෝකින්ස් නිර්මාණය කල මීම යනු මොනවාද

Posted in Biology, Culture, Evolution, Language, Life, Philosophy, religion, Richard Dawkins, Science | Tagged: , , , , , , | 11 Comments »

ජාන විකරණය කරන ලද ආහාර පිටුපස රහස: මොන්සැන්ටෝ

Posted by dawkinssdodo මත අප්‍රේල් 18, 2011



මේ සටහන තැබෙන්නේ ඊට පූර්විකාවක් වු සොඳුරු සිත විසින් කරන ලද පාඨක ප්‍රතිචාරයක් නිසාය.

ඔවුන් අත නොතබා ඇති යමක් නොමැති තරම්ය. ඔබේ කෑම මේසය මත ඇති බත්, බණ්ඩක්කා, අබ, තෙල්, මල් ගෝවා ආදී සියල්ලම ඔවුන්ගේ ග්‍රහනයට යටත්ව ඇත්තේය. යම් බීජයකට අයිතිවාසිකම් කිව හැකි බව සම්මතය වූ පසු, එම බීජ පාවිච්චි කරන හැම වරකම ඒ වෙනුවෙන් කුලියක් අයකර ගත හැක. ඔවුන් මත යැපෙමින් හැම බෝගයක්ම වවන්නට සිදු වනු ඇත. ඔවුන් මත යැපෙමින් හැම බීජයක්ම පැලකරන්නට සිදුවනු ඇත. ශාක බීජ වල අයිතිය ඔවුන් සතු නම් අවසානයේ ආහාර වල අයිතිය, පාලනය ඔවුන් සතුවේ. ඒක තුවක්කු බෝම්බ වලට වඩා බලගතු උපක්‍රමික අවියක්. ලෝකය තුල විවිධ ජන සමූහ පාලනය කල හැකි හැකි හොඳම ක්‍රමය එයයි. කතාව ඇරඹෙන්නේ ධවල මන්දිරයෙනි. මොන්සැන්ටෝ (Monsanto) නම් සමාගම විසින් ධවල මන්දිරයේ එක්සත් ජනපද ප්‍රතිපත්ති සම්පාදකයන්ට බලපෑම් කිරීමේ අරුම පුදුම හැකියාව කතාවේ ඇරඹුමයි. උදාහරණයක් ලෙස අනූ ගනන් වල එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ (FDA) නියෝජ්‍ය කොමසාරිස් ලෙස පත්වන පුද්ගලයා කලින් මොන්සැන්ටෝහී නීතිඥයෙක් ලෙස රැකියාව කල කෙනෙක්. මොහු ජාන විකරණය (GM, GE) කරන ලද ආහාර සහ බෝග එක්සත් ජනපදය තුල අනුමත කිරීම සඳහා තීරණාත්මකව මැදිහත්වනවා. ඔහුගේ සේවා කාලයෙන් පසු ඔහු නැවත එම සමාගමේම උප සභාපතිවරයා ලෙස වැඩ බාරගන්නවා.

මේ වගේ මොන්සැන්ටෝ සහ රාජ්‍ය ආයතන අතර ඇති ඉතා සමීප සම්බන්දතා වලට පිංසිද්ද වෙන්න ජාන විකරණය කල ආහාර සහ බෝග එක්සත් ජනපදය තුල විකිනෙන්නේ නියමාකාරයේ පරීක්ෂාවකින්, පර්යේෂණයකින්, ලේබලයකින් තොරව, පරිභෝජනයට සුදුසු බව පිලිබඳ සැක මතු කරමින්. අනිත් අතට එක්සත් ජනපදයේ මුලු ජාන විකරණය කරන ලද බීජ වලින් 90% ක්ම සපයන්නේ මොන්සැන්ටෝ. මොන්සැන්ටෝගේ අදිසි හස්තය නිසාම එක්සත් ජනපද ආහාර සහ ඖෂධ පාලනාධිකාරිය තම පාලනාධිකාරියේ විද්‍යාඥයින්ගේ අවවාද, අනතුරු හැඟවීම් පවා නොසලකා හැරියා. අල්ලස් දීම, නොමඟ යවන වෙලඳ දැන්වීම් සහ විද්‍යාත්මක පර්යේෂණ වල දත්ත සැඟවීම ඔවුන්ගේ අනිකුත් උපාය මාර්ගයි.

මේ Top documentary films හි පලවූ විස්තරයක පරිවර්තනයකි.

The world According to Monsanto වාර්තා චිත්‍රපටය ඔවුන් ගැන නිපද වූවක්.

Posted in Biology, Cell biology, Culture, DNA, Freedom of expression, Gene, Genetic data, Life, Molecular Biology, RNA, Science | Tagged: , , , , , , , | 6 Comments »

ගොන්නුන්ට එරෙන මිනිස් මව්කිරි

Posted by dawkinssdodo මත අප්‍රේල් 5, 2011

චීනයේ බෙයිජිං කෘෂි විශ්වවිද්‍යාලයේ ජාන තාක්ෂණ විද්‍යාඥයින් පිරිසක් විසින් පලමු වරට මිනිස් ජාන එලදෙනුන්ට හඳුන්වා දීමෙන් මිනිස් මව්කිරි නිපදවන්නට සමත් වී තිබෙනවා. මෙසේ ජාන විකරනය (genetically modified) කරන ලද එලදෙනුන් 17ක් මේ පර්යේෂණයට යොදාගෙන තිබේ. ඇත්තටම මේ එළදෙනුන් ක්ලෝනිකරනය කරන ලද ජාන විකරනය කරන ලද සතුන්. මේ පිලිබඳ පර්යේෂණ පත්‍රිකාව ප්ලොස් වන් (PLoS ONE) සඟරාවේ පලවුනා. මිනිස් ප්‍රෝටීන වන ලයිසොසයිම්, ලැක්ටොෆෙරින් සහ ලැක්ටොඇල්බියුමින් අඩංගු ” මව්කිරි” නිපදවන්නට මේ එළදෙනුන්ට හැකි වූ බවයි පර්යේෂණ පත්‍රිකාවේ සඳහන් වන්නේ. මෙම ප්‍රෝටීන අලුත උපන් දරුවන්ගේ ප්‍රතිශක්තිය දියුනු කරමින් ආසාදන වලට එරෙහිව සටන් කරන්නට උදව්වනවා. මේ “මව්කිරි” වෙලඳපොලට නිකුත් කිරීමට තවත් අවුරුදු 10ක් පමණ ගත විය හැකියි. ඒ මිනිස් පරිභෝජනයට සුදුසු දැයි පර්යේෂණ කර මේ මව්කිරි වල ආරක්ෂිත බව නිට්ටාවට නිශ්චය කර ගත යුතු නිසා.

ක්ලෝනීකරනය (cloning) කරන ලද මිනිස් ජාන හොල්ස්ටයින් කිරි එළදෙනුන්ගේ ඩී.එන්.ඒ (DNA) වලට හඳුන්වා දීමෙන් පසු, එලෙස ජාන විකරණය කරන ලද කළල, දාරක එළදෙනුන් තුල වර්ධනය කිරීමෙනුයි මේ පර්යේෂණය සිදු කෙරුනේ.

PLoS ONE සහ Daily Telegraph ඇසුරෙනි.

පින්තූරය Daily Telegraph පුවත්පතෙන් උපුටා ගැනින.

Posted in Biology, Cell biology, Culture, Gene, Life, Molecular Biology, religion, Science | Tagged: , , , , , , , , | 6 Comments »

රමණය දීර්ග කරගැනීමට මෞඛ සංසර්ගය ??

Posted by dawkinssdodo මත මාර්තු 16, 2011


ප්ලොස් වන් (PLoS ONE) සඟරාවේ පර්යේෂණ පත්‍රිකාවක අපූරු සොයාගැනීමක් වාර්තා වුනා. මුඛ සංසර්ගය (Fellatio) මිනිසුන් විසින් පූර්ව-සංසර්ග උත්තේජනයක් (Fore play) ලෙස නිතරම යොදාගැනුනත් අනික් සතුන් මුඛ සංසර්ගයේ යෙදෙන බව වාර්තාවන්නේ කලාතුරකින්. බොන්බෝවන් (Bonbo) හෙවත් පිග්මි චිම්පන්සින් අතර මුඛ සංසර්ගය වාර්තා වුවත් එය දක්නට ලැබෙන්නේ යෞවන පිරිමි චිම්පන්සින් අතර පමණයි. බහු-භාර්යා සේවනයේ යෙදෙන පලතුරු වවුලන් (Cynopterus sphinx) අතර ලිංගික ක්‍රියාවේදී මුඛ සංසර්ගය භාවිතාවන බව දැන් වාර්තාවනවා.

පෘෂ්ඨොදරීය (dorsoventral) සංසර්ගයේදී ගැහැනු වවුලන් නිතරම ශිශ්නය ලෙවකන බව පර්යේෂකයන් නිරීක්ෂනය කලා. නමුත් ගැහැනු සතා ශිශ්න දණ්ඩ ලෙවකෑවත්, තම යෝනිය තුල ඇති ශිශ්න හිස ලෙවකෑමෙන් වැලකුනා. ශිශ්නය මෙසේ ලෙවකන විට එය යෝනිමාර්ගයෙන් ඉවතට ගැනීමෙන් පිරිමි වවුලන් වැලකුනා. සංසර්ගයේ යෙදීමට ගතවූ මුලු කාලයත් ශිශ්නය ලෙවකන කාලයත් අතර සහ-සම්බන්ධතාවයක් තිබෙන බව පර්යේෂකයන්ට පෙනුනා. ගැහැනු සතා ශිශ්නය ලෙවකන්නේ නම් සංසර්ගයට ගතවන මුලු කාලය සුවිශේෂි අයුරින් වැඩි බව ඔවුන් නිගමනය කලා.

Posted in Biology, Culture, Evolution, Freedom of expression, Life, religion, Science, sex | Tagged: , , , , , , , | Leave a Comment »

නිර්-ආගමිකයන් පොර වීම.

Posted by dawkinssdodo මත ජනවාරි 16, 2011


අවුරුදු සියයකට හමාරකට පෙර “නිර්-ආගමිකයන්” යනු සුලුතරයක් පමනක් නෙවෙයි, ප්‍රධාන සමාජ දහරාවෙන් පිටමන් කරනු ලැබු කොන් කරනු ලැබූ පිරිසක්. සමහර විට නිර්-ආගමිකයන් වීම නිසා ජීවිතයෙන් වන්දිගෙවීමට පවා සිදු වුනා. වර්තමානයේදී නිර්-ආගමිකත්වය එතරම් ප්‍රති විරෝධයක් ඇති නොකරන, ඇතැම් ජනසමූහ වල ප්‍රධාන දැක්ම බවට පත්වු එකක්.


නව සහශ්‍රයේ නම් නිර්-ආගමිකයන් අති බහුල සමාජ සංරචකයක්. කොටින්ම එක් වෙබ් අඩවියක් ජනප්‍රිය, ප්‍රසිද්ධ, කීර්තිමත් නිර්-ආගමිකයන් වෙනුවෙන්ම තැනූවක්. කීර්තිමත් නිර්-ආගමිකයන් විවිධ ක්ශේත්‍ර වල විස්කම් දස්කම් දැක්වූ මාක් සුකර්බර්ග් (Facebook), ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් (ප්‍රංශ පාපැදි සවාරිය පිට පිට සත් අවස්ථාවක් ජයග්‍රහණය කර ඇත ) සහ ජෝඩි ෆොස්ට'(සුප්‍රසිද්ධ නිළිය) වැනි පුළුල් පරාසයක් නියෝජනය කරනවා. එහෙත් මින් බොහෝ දෙනෙක් යම් බලපෑමක් කල හැකි නිර්-ආගමිකයන් අතරට නොවැටෙන්නේ, බොහෝ නිර්-ආගමිකයන් මෙන් ඔවුන් තම නිර්-ආගමිකත්වය මහ ලොකු “බක්කක්” ලෙස නොසැලකීම නිසායි. දෙවියන්ගෙන් තොර ඔවුන්ගේ ජීවිත ඔවුන් සතුටින් ගෙවා දමන්නේ දෙවියන් සමඟ ජීවත් වන අයට ඔවුන්ගේ සතුට විඳගන්නට ඉඩදෙමින්.


තාමත් අප අතර සිටින, බලපුලුවන්කාර නිර්-ආගමිකයන්ගේ සුපිරි-ප්‍රාඥ ලැයිස්තුවට ඇතුලත් වීමට නම් දෙවියන් ප්‍රතික්ශේප කිරීම පමණක් ප්‍රමානවත් නැහැ, සක්‍රීයව මැදිහත් වී අන් අයත් දෙවියන් ඇදහීමෙන් ගලවා ගත යුතුයි. උදාහරණයක් ලෙස “බුල්ශිට්” රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන පෙන් සහ ටෙලර් නිර්-ආගමිකත්වය ප්‍රචලිත කිරීමට යොදාගන්නේ ඔවුන්ගේ විනෝදාත්මක බවයි. එය “ජනප්‍රිය” ක්‍රමවේදයක් විනා උගත්, තර්කානුකූල මතවාදයක් දෙවියන්ට එරෙහිව, නිර්-ආගමිකත්වය වෙනුවෙන් ගොඩනැගීමක් නොවේ.


සැබෑ සක්‍රීය නිර්-ආගමිකයන්ගේ ලැයිස්තුවට ඇතුලත්වීමට නම් නිර්-ආගමිකත්වය ප්‍රචලිත කිරීමෙන් නොනැවතී උගත් මතවාද ඇසුරින් විද්වත් ලෙස නිර්-ආගමිකත්වය වෙනුවෙන් මතයක් ගොඩනැගීමට දායක විය යුතුයි. අන්න එවැන්නෙක් නිර්-ආගමික සුපිරි ප්‍රාඥයෙක් ලෙස හැඳින්විය හැකියි. ඔවුන් තම තම ක්ශේත්‍ර වල කැපී පෙනෙන උගතුන්. ඒ විද්වත් බව නිශ්චිතවම නිර්-ආගමිකත්වය ප්‍රචලිත කරන්නට හෝ දෙවියන් යනු තවුරු කල නොහැකි මනඃකල්පිතයක් බව පෙන්වන්නට යොදාගත් කීර්තිමත් පුද්ගලයින්.


එවැනි පුද්ගලයින් 25 දෙනෙකු superscholar.org ජාලය විසින් නම් කර තිබෙනවා. ඉදිරියේදී ඔවුන් පිලිබඳ විස්තර ගෙන එන්නයි ඩෝඩෝ ගේ අදිටන.

The 25 Most Influential Living Atheists From Richard dawkins.net

Posted in Atheism, Freedom of expression, Life, Philosophy, Physics, religion, Richard Dawkins, Science | 8 Comments »