Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Archive for the ‘Stem cells’ Category

ඩවුන්ස් සින්ඩ්‍රෝමයට ප්‍රතිකර්මයක්? |Silencing an extra chromosome

Posted by dawkinssdodo මත අගෝස්තු 22, 2013


මිනිසුන්ට වර්ණදේහ යුගල 23 ක් තිබේ. ඩවුන්ස් සින්ඩ්‍රෝමය (Down’s Syndrome) ඇතිවන්නේ 21 වැනි වර්ණදේහයේ අක්තිරික්ත පිටපතක් නිසායි. මේ හේතුවෙන් ඉගෙනීමේ දුර්වලතා, ඇල්සයිමර් රෝගයට ගොදුරු වීමේ අවදානම, රුධිරාබාධ සහ හෘදය ආශ්‍රිත ආබාධ ඇතිවේ.


ජාන චිකිත්සාවේදී මෙතෙක් කල් යොදාගන්නා ලද්දේ තනි ජානයක් නිහඬ කිරීම හරහා ජාන සම්බන්ධ ප්‍රවෙණිගත රෝග වලට ප්‍රතිකර්ම සෙවීමයි. මැසචුසෙට්ස් සරසවියේ සෛල විද්‍යාඥයින් තනි ජානයක් එක් කිරීමෙන් අක්තිරික්ත 21 වැනි වර්ණදේහයම නිහඬ කරන්නට සමත් වී තිබේ. මෙමගින් රෝගකාරක සෛලීය සහ අණුක ජීව සංඥා පත හඳුනාගෙන ඉලක්ක ප්‍රතිකර්ම නිර්මාණය කල හැකිවෙතැයි පර්යේෂකයෝ බලාපොරොත්තුවෙති.


මෙහිදී සෛල විද්‍යාඥයින්ගේ ප්‍රවේශය වූයේ ස්වභාවිකව ගැහැණු මැමේලියානු සෛලවල දක්නට ලැබෙන X වර්ණදේහ දෙකින් එකක් නිහඬ කිරීමේ ක්‍රමවේදය ඩවුන්ස් සින්ඩ්‍රෝමය පෙන්වන සෛල තුළ ක්‍රියාත්මක කිරීමයි. ස්වාභාවික ගැහැණු මැමේලියානු සෛලවල X වර්ණදේහ දෙකින් එකක XIST (X Inactive Specific Transcript) ජානය සක්‍රිය වීම මගින් එම සක්‍රිය ජානය ඇති X වර්ණදේහය පමණක් නිහඬ කෙරේ. නිහඬ කිරීම සිදුවන්නේ සක්‍රිය වුණු XIST ජානය මගින් නිපදවන RNA අනු මගින් එම වර්ණදේහය වසා ගැනීම නිසා අනෙකුත් ජාන වල ජාන ප්‍රකාශනයට බාධා පැමිණවීමෙනි.


ඩවුන්ස් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන පුද්ගලයෙක්ගෙන් ලබාගත් සෛල වල 21වැනි වර්ණදේහ පිටපත් තුනෙන් එක් පිටපතකට XIST ජානය ඇතුළත් කල සෛල විද්‍යාඥයින් එම ජානය ඩොක්සිසයික්ලින් නම් සුලභව භාවිතාකරන “අණුක ජීව ස්විචයක්” හරහා අවශ්‍ය විටෙක පමණක් සක්‍රිය කල හැකි අයුරින් නිමවන ලදි. ඩොක්සිසයික්ලින් සෛල වර්ධනය වන මාධ්‍යයට එක් කල විට 21 වැනි අක්තිරික්ත වර්ණදේහයේ පවතින, (සින්ඩ්‍රෝමයට තුඩු දෙන) ජාන ප්‍රකාශනය සැලකිය යුතු ලෙස අඩුවිය. මෙම නව වර්ණදේහ “නිහඬ” කිරීම සිදුකර ඇත්තේ විවිධ පටක වලට විශේෂණය විය හැකි මූලික වර්ධක සෛල (Induced Pluripotent Stem cells) වල බැවින් විවිධ අවයව වලට ඩවුන්ස් සිඩ්‍රෝමය බලපාන ආකාරය හැදැරීමට හැකිවනු ඇත. මෙම ක්‍රමයේ අවාසියක් වන්නේ 21 වැනි වර්ණදේහයේ සියලුම ජාන සක්‍රිය XIST මගින් අකර්මණ්‍ය නොවේ නම් එමගින් පර්යේෂණ දත්ත අවුලට පත්වීමට ඇති හැකියාවය.


මෙම පර්යේෂණය නේචර් සඟරාවේ පළවිය.

BBC සහ Nature News ඇසුරිනි.

Advertisements

Posted in Cell biology, DNA, Gene, Genetic data, Molecular Biology, Physiology and Medicine, Science, Stem cells | Tagged: , , , , , | 8 Comments »

පළමු කෘතිම අවයවය රෝගියෙකුට සාර්ථකව බද්ධ කෙරේ

Posted by dawkinssdodo මත සැප්තැම්බර් 9, 2011


ස්වීඩනයේ කැරොලින්ස්කා වෛද්‍ය විද්‍යාලයේදී පිළිකාවක් නිසා ශ්වසන මාර්ගය පලුදු වූ පුද්ගලයෙකුට ලොව පළමු කෘතිම අවයවය බද්ධ කෙරුණි. ඒ කෘතිම ශ්වාස නාලයකි. මරණයට නියම වී සිටි පිළිකා රෝගියාට මේ නවතම තාක්ෂණය නිසා තම ජීවිතය බේරාගන්නට හැකිවුණි.


ලංඩනයේ යුනිවසිටි කොලේජ් හි මහාචාර්ය ඇලෙක්ස් සෙෆාලියන් (Alex Seifalian) ඇතුළු පර්යේෂකයන් පිරිසක් මේ කෘතිම ශ්වාස නාලය නිමවීමට දායකවූ නැනෝ-සංයෝග ද්‍රව්‍යයට පේටන්ට් පතක් ලබාගැනීමට සමත් වී තිබේ. මේ විශේෂ ද්‍රව්‍යයෙන් නිමවන ලද ශ්වාසනාල ආකෘතියේ ඉතා කුඩා සිදුරු මිලියන ගණනක් තිබීම එය සාර්ථකවීමට අත්‍යාවශ්‍ය සාධකයකි.


මෙහිදී පළමුව රෝගියාගේ ඇට මිදුළු වලින් ලබාගන්නා වෘද්ධ මූලික ජනක සෛල (Adult stem cells) ජීව ප්‍රතික්‍රියාකාරකයක් තුළ වර්ධනය කරවයි. ඉහත කී නැනෝ-සංරචිත ද්‍රව්‍යයෙන් නිමවුණු ශ්වාසනාල අකෘතිය ජීව ප්‍රතික්‍රියාකාරකය තුළට ඇතුල් කර දින දෙකක් තබනු ලැබේ. සිදුරු සහිත ආකෘතිය තුළත්, ඒ වටාත් රෝගියාගේ ජනක සෛල වර්ධනය වී අවසානයේ රෝගියාගේ සෛල වලින්ම නිපදවෙන ශ්වාසනාලයක් බවට පත්වේ.


දායකයෙකු අනවශ්‍ය නිසා මෙම ක්‍රමය භාවිතා කරන්නන්ට දායකයෙකු ලැබෙනතුරු බලා සිටිය යුතු නැත. ඒ නිසාම රෝගියාගේ ශරීරය මගින් ප්‍රතික්ෂේප කිරීමේ අවදානමක්ද නැත. මේ නිසා ප්‍රතිදේහ නාශක (Immuno-suppressants) ඖෂධ භාවිතා කිරීම අනවශ්‍යයි.


මේ ක්‍රමය මගින් විනාඩි 20ක් තුළ ගැහෙන ධමනියක් නිර්මාණය කල හැකියි. ධමනි ශිරා පමණක් නොව කන්, නාස් සහ සම ආදියද මේ මගින් නිර්මාණය කල හැකි බව පැවසේ.

BBC ඇසුරෙනි.

Posted in Biology, Cell biology, Gene, Molecular Biology, Science, Stem cells | Tagged: , , , , , , , | 5 Comments »