Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Archive for the ‘Physiology and Medicine’ Category

ඩවුන්ස් සින්ඩ්‍රෝමයට ප්‍රතිකර්මයක්? |Silencing an extra chromosome

Posted by dawkinssdodo මත අගෝස්තු 22, 2013


මිනිසුන්ට වර්ණදේහ යුගල 23 ක් තිබේ. ඩවුන්ස් සින්ඩ්‍රෝමය (Down’s Syndrome) ඇතිවන්නේ 21 වැනි වර්ණදේහයේ අක්තිරික්ත පිටපතක් නිසායි. මේ හේතුවෙන් ඉගෙනීමේ දුර්වලතා, ඇල්සයිමර් රෝගයට ගොදුරු වීමේ අවදානම, රුධිරාබාධ සහ හෘදය ආශ්‍රිත ආබාධ ඇතිවේ.


ජාන චිකිත්සාවේදී මෙතෙක් කල් යොදාගන්නා ලද්දේ තනි ජානයක් නිහඬ කිරීම හරහා ජාන සම්බන්ධ ප්‍රවෙණිගත රෝග වලට ප්‍රතිකර්ම සෙවීමයි. මැසචුසෙට්ස් සරසවියේ සෛල විද්‍යාඥයින් තනි ජානයක් එක් කිරීමෙන් අක්තිරික්ත 21 වැනි වර්ණදේහයම නිහඬ කරන්නට සමත් වී තිබේ. මෙමගින් රෝගකාරක සෛලීය සහ අණුක ජීව සංඥා පත හඳුනාගෙන ඉලක්ක ප්‍රතිකර්ම නිර්මාණය කල හැකිවෙතැයි පර්යේෂකයෝ බලාපොරොත්තුවෙති.


මෙහිදී සෛල විද්‍යාඥයින්ගේ ප්‍රවේශය වූයේ ස්වභාවිකව ගැහැණු මැමේලියානු සෛලවල දක්නට ලැබෙන X වර්ණදේහ දෙකින් එකක් නිහඬ කිරීමේ ක්‍රමවේදය ඩවුන්ස් සින්ඩ්‍රෝමය පෙන්වන සෛල තුළ ක්‍රියාත්මක කිරීමයි. ස්වාභාවික ගැහැණු මැමේලියානු සෛලවල X වර්ණදේහ දෙකින් එකක XIST (X Inactive Specific Transcript) ජානය සක්‍රිය වීම මගින් එම සක්‍රිය ජානය ඇති X වර්ණදේහය පමණක් නිහඬ කෙරේ. නිහඬ කිරීම සිදුවන්නේ සක්‍රිය වුණු XIST ජානය මගින් නිපදවන RNA අනු මගින් එම වර්ණදේහය වසා ගැනීම නිසා අනෙකුත් ජාන වල ජාන ප්‍රකාශනයට බාධා පැමිණවීමෙනි.


ඩවුන්ස් සින්ඩ්‍රෝමයෙන් පෙළෙන පුද්ගලයෙක්ගෙන් ලබාගත් සෛල වල 21වැනි වර්ණදේහ පිටපත් තුනෙන් එක් පිටපතකට XIST ජානය ඇතුළත් කල සෛල විද්‍යාඥයින් එම ජානය ඩොක්සිසයික්ලින් නම් සුලභව භාවිතාකරන “අණුක ජීව ස්විචයක්” හරහා අවශ්‍ය විටෙක පමණක් සක්‍රිය කල හැකි අයුරින් නිමවන ලදි. ඩොක්සිසයික්ලින් සෛල වර්ධනය වන මාධ්‍යයට එක් කල විට 21 වැනි අක්තිරික්ත වර්ණදේහයේ පවතින, (සින්ඩ්‍රෝමයට තුඩු දෙන) ජාන ප්‍රකාශනය සැලකිය යුතු ලෙස අඩුවිය. මෙම නව වර්ණදේහ “නිහඬ” කිරීම සිදුකර ඇත්තේ විවිධ පටක වලට විශේෂණය විය හැකි මූලික වර්ධක සෛල (Induced Pluripotent Stem cells) වල බැවින් විවිධ අවයව වලට ඩවුන්ස් සිඩ්‍රෝමය බලපාන ආකාරය හැදැරීමට හැකිවනු ඇත. මෙම ක්‍රමයේ අවාසියක් වන්නේ 21 වැනි වර්ණදේහයේ සියලුම ජාන සක්‍රිය XIST මගින් අකර්මණ්‍ය නොවේ නම් එමගින් පර්යේෂණ දත්ත අවුලට පත්වීමට ඇති හැකියාවය.


මෙම පර්යේෂණය නේචර් සඟරාවේ පළවිය.

BBC සහ Nature News ඇසුරිනි.

Advertisements

Posted in Cell biology, DNA, Gene, Genetic data, Molecular Biology, Physiology and Medicine, Science, Stem cells | Tagged: , , , , , | 8 Comments »

ඩොලර් දහසේ ජිනෝම තරඟය

Posted by dawkinssdodo මත ජනවාරි 30, 2012



ඩොලර් 1000කට අඩුවෙන් මුලු මානව ජීනෝමයම විකේතනය කිරීමේ තරඟය තවත් ත්‍රීවු කරමින් Life Technologies සමාගම Ion Proton Sequencer නමින් නව කේතන යන්ත්‍රයක් (Sequencing Machine) මේ වසරේදී වෙළඳ පොළට එක් කරන බව ප්‍රකාශ කර තිබේ. මෙමගින් දිනකට අඩු කාලයක් තුළ ඩොලර් 1000 ක් වැනි මුදලකින් එක් පුද්ගලයෙක්ගේ මුලු ජිනෝමයම විකේතනය කරන්නට හැකියැයි එම සමාගම පවසයි. මෙම යන්ත්‍රයේ පූර්වජයා ලෙස සැලකෙන, ඔවුන්ගේම සොයුරු සමාගමක් වන Ion Torrent මගින් නිෂ්පාදිත පුද්ගලික ජිනෝම යන්ත්‍රය (Personal Genome Machine) වෙළඳපොළේ ඉතා ජනප්‍රිය යන්ත්‍රයක් විය. ක්ෂේත්‍රයේ අනෙක් දැවැන්තයා වන Illumina සමාගම තම “ජීනොමය-දවසකින්” තරඟ කරුවා ලෙස HiSeq 2500 යන්ත්‍රය නම් කර තිබේ.


මේ පිටුපස ඇති පණිවිඩය නම් ජිනෝම කේතනය තව දුරටත් පර්යේෂණාගාරයට සීමාවුවක් නොවන බවයි. ජෛව තාක්ෂණික ලෝකයේ දැන් සිදුවන විශාලම සංක්‍රමණය නම් පර්යේෂණාගාරයෙන් සායනයට මේ තාක්ෂණය ඇතුළුවීමයි. පර්යේෂණ මට්ටමේ ජිනෝම කේතනයන් මිලියනයක් පමණ වසරකට සිදු කිරීමට නියමිත අතර සායනික මට්ටමේ ජිනෝම කේතනයන් බිලියනයක් පමණ සිදුකිරීමට නියමිතය.


ජෛව-තාක්ෂණ කර්මාන්තය මේ සංක්‍රාන්තියට සූදානම් වන්නේ කේතනයේ ප්‍රමිතිය, ඉන් නිපදවෙන දත්ත ක්‍රමානුකූලව සැකසීම, සහ එම දත්ත සායනික මට්ටමෙන් අර්ථ දැක්වීමට අවශ්‍ය නව මෘදුකාංග වැඩිදියුණු කිරීමෙනි.

කැලිෆෝර්නියාවේ මෙවැනි සේවා සපයන ආයතනයක ප්‍රධානියා පවසන්නේ, විශාල පර්යේෂණායතන වැනි ගනුදෙනුකරුවන්ට ඩොලර් 4000 කට මුලු ජිනෝමයම කේතනය කරදිය හැකි බවයි. දැනට පියයුරු පිළිකා සහ ඩිම්බ පිළිකා සඳහා ඇති ජානමය අවදානම මැනීමට කරන සායනික මට්ටමේ කේතනයකටද අය කරන්නේ මේ සමාන මුදලකි.


මේ සමඟ නිපදවෙන අති විශාල ප්‍රමාණයේ දත්ත ගබඩා කිරීම සහ ඒවා විශ්ලේෂණය කිරීමට සුදුසු පරිගණක-මෘදුකාංග වේදිකාවක අවශ්‍යතාවයද මතු වී තිබේ. ඇමේසන් සහ ගූගල් මගින් දැනටමත් නිපදවා ඇති Cloud Computing යටිතල පහසුකම් මේ සඳහා යොදා ගත හොත් සායනික දත්ත විශ්ලේෂණය සඳහා වෙනම පරිගණක මධ්‍යස්ථානයක අවශ්‍යතාව මඟ හරවා ගත හැකි වේයයි විශ්වාස කෙරේ.


මේ පිළිබඳව අවධානය යොමු කරන NextBio සමාගම Cloud Computing තාක්ෂණය යොදාගෙන දැනට පුද්ගලික සහ මහජන දත්ත මධ්‍යස්ථාන වල ගබඩා කර ඇති සියලුම ජිනෝම දත්ත අර්ථ විවරණය කිරීම ආරම්භ ඇත. මෙම ව්‍යාපෘතියේ එක් අරමුණක් වන්නේ රෝගින්ගෙන් ලබා ගන්න සියලු අණුක ජීව-පැතිකඩ දත්ත, මිනිස් සහ සත්ව පර්යේෂණ සමඟ සම්බන්ද කිරීමයි.


Life Technologies සමාගමෙන්ද පරිගණක දත්ත සම්බන්ධයෙන් වැදගත් ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. Doctor-in-a-Box නමින් හැඳින්වෙන මෙය නිදහස් මෘදුකාංගයක් ලෙස නිපදවන බැවින් වාර්ෂික බලපත් අනවශ්‍ය වන අතර මුදලකින් තොරව පර්යේෂණ සහ සායනික කටයුතුවලට යොදාගත හැකි වෙනු ඇත. මෙමගින් බහු-ජාන බලපෑම් ඇති සංකීර්ණ රෝග පිළිබඳ නිගමනයන් කිරීමටද අපේක්ෂා කෙරේ.


Bio Techniques සහ Nature news ඇසුරෙනි.


පුද්ගලික ජිනෝම යන්ත්‍රය ගැන සවිස්තර සටහනක් කලකට පෙර අරුණි ශපීරෝ විසින් සිංහල බ්ලොග් අවකාශයට එක් කර තිබුණි

Posted in Biology, Cell biology, DNA, Gene, Molecular Biology, Physiology and Medicine, Science | Tagged: , , , , , , , | 4 Comments »

නොබෙල් ත්‍යාගලාභීහු තම අත්දැකීම් සමඟ..

Posted by dawkinssdodo මත ජනවාරි 8, 2012

වසර 2011 දී නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ විද්‍යාඥයන්, සම්මානයෙන් ලැබුණු කීර්තිය, ප්‍රසිද්ධිය, පිළිබඳ තම හැඟීම් එකිනෙකා හා බෙදා හදා ගත් අවස්ථාවකි මේ. ඔවුන්ට නව නිර්මාණාත්මක අදහස් පහළවන්නේ කුමන ආකාරයක පරිසරයකද, සමූහ සාකච්ඡාවන් සහ අනෙකුත් පුද්ගලයන් සමඟ කෙරෙන අදහස් හුවමාරුව වැදගත්ද, ඔවුන් කිසිවෙක් නොබෙල් ත්‍යාගය ඉලක්ක කර තම පර්යේෂණ මෙහෙයවූවාද වැනි රසවත් තොරතුරු මේ සංවාදයේ පළමු විනාඩි දහයට ඇතුළත්.

මුලු සංවාදයම ස්වීඩනයේ ජාතික රූපවාහිනි වෙබ් අඩවියෙන් ජනවාරි 18 දක්වා නැරඹිය හැකියි.



පසු ගිය වසරේ නොබෙල් ත්‍යාගලාභීන් ගැන සම්පූර්ණ විස්තර, විඩියෝ ආදිය නොබෙල් කමිටු වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.


විඩියෝ උපුටාගැනීම ස්වීඩනයේ ජාතික රූපවාහිනී සේවයෙනි.
සියලු කතෘ හිමිකම් ස්වීඩනයේ ජාතික රූපවාහිනිය සතුය.

Posted in Biology, Economics, Physics, Physiology and Medicine, Science, Uncategorized | Tagged: , , , | 4 Comments »