Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Archive for දෙසැම්බර්, 2009

මිහිපිට සුවිශාලතම සංදර්ශනය – Dawkins’s New Book

Posted by dawkinssdodo මත දෙසැම්බර් 28, 2009



මිහිපිට සුවිශාලතම සංදර්ශනය අන් කිසිවක් නොව විවිධාකාරවූද, සංකීර්ණවූද, ගිනිය නොහැකිවූද, එහෙත් සුන්දර නානාවිදවු ලෝකය පුරා පැතිර පවත්නා ජීවයයි. අහස, ජලය, ගොඩබිම ආදිය වසා පැතිරුන ලොකු, කුඩා, විවිධ ජීවී විශේෂයන්ගේ නොනවතින පැවැත්මයි. එලෙස ජීවය පවත්නේ අන් කිසිවක් නිසා නොව ස්වභාවික වරණය තුලින් ජීවය පරිණාමය වීම නිසායි.  මේ පොත පරිණාමය සඳහා වන සාක්ෂි ගැනයි. පරිණාමය තවදුරටත් හිතලුවක් නොව සිය දහස්වාරයක් නොයෙකුත් විද්‍යාත්මක ක්ශෙත්‍ර තුල නැවත නැවත ඔප්පු වූ විද්‍යාත්මක සාධකයක් බව අප හැම දනිමු.  මෙවැනි පොතක අවශ්‍යතාව තදින් දැනෙන්නේ ඇයි? උදාහරනයක් ලෙස ඇමරිකාවේ ජනගහණයෙන් 40% අදටත් පරිණාමය පිලිනොගන්නා අතර ලෝකය අවුරුදු 10,000 කට මෙපිටදී “නිර්මාණය” කල එකක් බව විශ්වාස කරයි. එය ඇමරිකානු විද්‍යා අධ්‍යාපනික ක්ශේත්‍රය ලැජ්ජාවට පත්කරන්නකි. මේ ජනගහණයෙන් බහුතරය පරිණාමවාදය සඳහා වන සාක්ෂි ගැන දැනුවත් වුයේ නම් මෙවැනි දේ විශ්වාස නොකරනු ඇත. මේ පොතේ ඉලක්කය පාඨකයින් වෙත පරිණාමවාදය සඳහා වන සාක්ෂි ගෙනහැර පෑමයි.

ඩාවින් දැන සිටි, ගෘහස්තකරණය කරන ලද හීලෑ (domesticated) සතුන්ගෙන්- කෘත්‍රිම වරණයෙන් ලැබෙන සාක්ෂි දෙස බලන්න. බල්ලන්ගේ සිට ගෝවා ගෙඩිය දක්වාත් ඌරන්ගේ සිට හරකුන් දක්වාත් කෘතිම වරණය තුලින් විශාල  වෙනස්කම් ඉතා සුලු කාලයක් තුල ජනනය කිරීමට අප සමත්විය. අවුරුදු සියයක් හෝ අවුරුදු දහසක් යනු ජීවයේ ආරම්භයත් වර්තමානයත් අතර කාලය සලකන විට අසුරු සැනකි. මේ සා තරම් විශාල වෙනස්කම් අවුරුදු දෙතුන් සීයකින් ඇතිකල හැකිනම් අවුරුදු මිලියන 10ක් හෝ 100ක් තුල කෙතරම් විශාල වෙනස්කම් ජීවය තුල ජනනය විය හැකිද? පරිණාමයේදී අප කතා කරන්නේ එවැනි කාලාන්තරයක් ගැනයි. අප එවැනි කාලපරාසයක් තුල පරිණාමය සිදුවූ බව විශ්වාස කරන්නේ විකිරණශීලි කාල නිර්ණය (radioactive dating) ආදී ණූතන තාක්ෂනයෙන් ෆොසිල (Fossil-ජෛව පාෂාණ ධාතු ) වල වයස නිර්ණය කිරීමෙන්. ෆොසිල යනු පරිණාමය සඳහා වන සාක්ෂි අතරින් එක් වැදගත් සාක්ෂියකි. අණුක තලයේ (molecular level) සතුන් අතර සංසන්දනයන්, සතුන්ගේ නූතන භූගෝලීය පැතිරීම, පරිණාමය සිදුවූයේ නම් සතුන් පැතිරී සිටිය යුතු යැයි ඔබ අපේක්ෂා කරන ස්තාන වල ඇත්තටම එවැනි සතුන් හමුවීම, සතුන් අතර සහ-සම්බන්දතාවයන්, ඔවුන් තුල ඇති ජානමය අණු- ප්‍රෝටීන ආදිය ඇත්තෙන්ම පරිණාමය සිදුවුයේ නම්  ඔබ අපේක්ෂා කරන ආකාරයෙන් පැවතීම ආදිය ෆොසිල වලටත් වඩා වැදගත් සාක්ෂි වේ. ඇත්තෙන්ම අද ලෝකය පුරා ජීවය පැතිර පවතින ආකාරයන් ඇතිවිය හැක්කේ පරිණාමය සත්‍ය නම් පමණි.
රිචඩ් ඩෝකින්ස් ඔහුගේ නව පොත (Greatest Show on Earth) අරබයා කරන ලද හැඳින්වීමක සිංහල පරිවර්තනයකි.

http://www.youtube.com/user/richarddawkinsdotnet

Posted in Biology, Cell biology, Evolution, Molecular Biology, religion, Richard Dawkins, Science, Transitional fossil | Tagged: , , , , , , , , | 1 Comment »