Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Richard Dawkins, Evolution, Biology and Religion|පරිණාමය, ජීව විද්‍යාව සහ ආගම

Archive for අගෝස්තු, 2012

මරණයට ඇති අයිතිය| Right to Die – බීට්ල් ට තල්ලුවක්!

Posted by dawkinssdodo මත අගෝස්තු 27, 2012

සංවේදී පාඨකයින් මෙහි දක්වා ඇති හෝ මෙහි නම් කරන සිනමා පට/විඩියෝ බැලිමේදී සැලකිලිමත් වන්න!!

බීටල් විසින් මැතකදී ලියන ලද අසා මිනිසෙක් මළ පුවත අද..හඬමි සතුටින් පළමු වර මම යන සටහන මරණයට ඇති අයිතිය පිළිබඳ අපේ කියවීම නැවතත් ප්‍රශ්න කිරීමට යොමු කරවයි. ඒ පිළිබඳ සාකච්ඡාවක අවශ්‍යතාවය මතු කිරීම අගනේය.


කැනේඩියානු සිනමා කරුවෙකු වන ජෝන් සරිට්ස්කි (John Zaritsky) මේ පිළිබඳ ඉතාම (අ?)සංවේදී සිනමාපටයක් (Right to Die?/The Suicide Tourist) නිර්මාණය කරමින් පවසන්නේ මරණය සිදුවන අවසන් මොහොත නොපෙන්වීම අවංක ව්‍යායාමයක් නොවන බවයි. අවුරුදු 59 ක් වන ක්‍රේග් එවර්ට් (Craig Ewert) මාරාන්තික මාත්‍රාවක් ශරීර ගත කරගනිමින් මරණයට පත් වන ආකාරය මේ සිනමා පටයට ඇතුළත් කර තිබුණි.


ක්‍රේග් දෙදරු පියෙකි. උතුරු යෝර්ක්ෂයර් සිට ස්විට්සර්ලන්තයට ගොස්, එහි “ඩිග්නිටාස්” (Dignitas) නැමැති සංවිධානයේ ආධාරයෙන් තම ජීවිතය නැති කරගනිද්දී ස්නායු රෝගයකින් දැඩිව දුක් විඳිමින් සිටියේය. ඩිග්නිටාස් සංවිධානය මාරන්තික ලෙඩ රෝග සහ දැඩි මානසික සහ ශාරීරික පීඩා විඳින්නන්ට මරණය උදා කරගැනීම සඳහා උදව් වේ.


චිත්‍රපටය නිර්මාණය කිරීමේදී ඔහු ක්‍රේග් සහ බිරිඳට ඉතාම සමීප වූ බවත්, නිර්මාණය කිරීම ඉතාම සංවේදී එකක් වූ බවත් සරිට්ස්කි පවසා තිබිණ. බලාපොරොත්තු වූ පරිදිම මේ චිත්‍රපටයට ආධාරක දිවිනසා ගැනීම (Assisted-Suicide/Euthanasia) ට විරුද්ධ කාණ්ඩායම් වලින් දැඩි පීඩනයක් එල්ල විය.


ක්‍රේග් ගේ අවසාන මොහොත ඇතුළත් කිරීම අසංවේදී බවට චෝදනා එල්ල වුණු අතර, කොපි-කැට් දිවිනසා ගැනීම් මේ නිසා වැඩි වේ යැයි චෝදනා කෙරුණි.



සරිට්ස්කි ගේ මතය වූයේ මේ චිත්‍රපටය “ආධාරක දිවිනසා ගැනීමේ ලෝකයට” ප්‍රේක්ෂකයන් ගෙන යන බවත්, යම් කලෙක “ආධාරක දිවිනසා ගැනීම” නීතිගත වුවහොත් ඇති වන තත්වය ගැන අවබෝධයක් ලබා ගත හැකි බවත්ය. බටහිර රටවල 70% ක් පමණදෙනා මීට කැමති බව ඔහුගේ මතය විය.


දිවිනසා ගැනීම උත්කර්ෂයට නැංවීම හෙළා දැකිය යුතු බවත් නො එසේනම්, එය සදාචාරාත්මකව අභියෝගයට ලක්විය යුතු බවත් ප්‍රාදේශීය මංත්‍රීවරයෙක් වන ෆිල් විලිස් ගේ මතය විය.


ආධාරක-දිවිනසා ගැන්ම ප්‍රචාරණය කිරීම නිසා විෂාදයෙන් පෙළෙන සහ දුර්වල පුද්ගලයන් මේ නිසා අනතුරෙහි හෙලා ඇති බව ගබ්සා-විරෝධී සංවිධානයක මතය විය. මෙය ඉතා භයානක ආදර්ශයක් දෙන බවත් දුර්වල අය අනතුරෙහි හෙලීමක් බවත් එවැනිම තවත් සංවිධානයක ප්‍රකාශිකාවක් තහවුරු කළේය.


ක්‍රේග් එවර්ට් ගේ බිරිඳ මේරි එවර්ට් ගේ මතය වූයේ මේ චිත්‍රපටය තම සැමියාට ගෞරවයක් බවයි.


“මම චිත්‍රපට කණ්ඩායමට පිටව යාමට කීවේ ක්‍රේග් මියගොස් පැය භාගෙකට පසුවයි. ඒ මට නිදහසේ අඬන්නට ඕනේ නිසායි. මිනිස්සු මේ චිත්‍රපටය නිසා මරණය ගැන කතා කරන්නට සිතන්නට පොළොඹවයි නම් එයයි ක්‍රේග් ගේ පැතුම වන්නට ඇත්තේත්” මේරි එවර්ට් පැවසුවේය.


2008 Telegraph ඇසුරෙනි.

Posted in Atheism, Culture, Life, religion, Science | Tagged: , , , , , , , | 12 Comments »

බීමත්කමට හේතුව ලිංගිකව..

Posted by dawkinssdodo මත අගෝස්තු 21, 2012



මෑතකදී පළවු මාතලන්ගේ විවාහක බේබද්දන් වෙනුවෙන් පළකරන ලද වටිනා උපදෙස් මාලාව මේ සටහනට පූර්විකාවක් විය.


තාරුණ්‍යයෙන් අගතැන්පත් ඔවුහු ලිංගික තෘප්තිය සොයමින් වට පිටාවේ ගැවසෙන සුකොමලියන් ඉදිරියේ අනඟ රැඟුම්, ඉඟි බිඟි පෑවේ වරක් දෙවරක් නොවේ. එහෙත් ඔවුන් එක වරක් දෙවරක් නොව දහ-දොළොස්වතාවක්ම මන බඳින රූමතියන් විසින් ප්‍රතික්ෂේප කෙරිණ. ඔවුන් කළේ ඒ ලිංගිකව ප්‍රතික්ෂේප වීමෙන් ඇති වූ තුවාලය, වේදනාව මද්‍යසාර වලින් සෝදා හැරීමයි.


මේ අපි දන්නා කවුරුන් හෝ ගැන කතාවක් නොව, Drosophila melanogaster නමින් හැඳින්වෙන පලතුරු මැස්සන් යොදා කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයකි.


පලතුරු මැස්සන් මද්‍යසාර බීමෙන් පසු ඔවුන්ගේ මොළයේ “විපාක/ප්‍රදාන” පත (Reward system) සක්‍රිය වී ඔවුන්ට “ප්‍රමෝදාත්මක” හැඟීමක් ඇතිවන බව පර්යේෂකයෝ මීට පෙර දැන සිටියහ. එසේම, සමාජ අන්තර් ක්‍රියා යනු, මේ “විපාක/ප්‍රදාන” පත උද්දීපනය කරවන අත්දැකීම් අතර ඉහළම ප්‍රීතියක්, ප්‍රමෝදයක් ලබාදෙන අත්දැකීමක් බවද ඔවුහු දැන සිටියහ. මේ ද්වි-ආකාර විපාක/ප්‍රදාන පත පද්ධතීන් එකිනෙකට සම්බන්ධ ද යන ප්‍රශ්නයට උත්තර සෙවීම මේ පර්යේෂණයේ අරමුණ විය.


පර්යේෂණයෙන් තහවුරු වූයේ, මැස්සියන් සමග ලිංගිකව එක් වීමට නොලැබුණ පලතුරු මැස්සන් මද්‍යසාර අඩංගු ආහාර තෝරා ගන්නා බවයි. මෙහි අනපේක්ෂිත සොයා ගැනීමක් වන්නේ ලිංගිකව එක් වීමට ලැබුණු පලතුරු මැස්සන් විසින් මද්‍යසාර අඩංගු ආහාර ප්‍රතික්ෂේප කිරීමයි.


නියුරෝපෙප්ටයිඩ් එෆ් (Neuropeptide F- NPF) යන ප්‍රෝටීනය පලතුරු මැස්සන්ගේ මද්‍යසාර වලට ඇති කැමත්ත නිර්ණය කරන්නක් බව තහවුරු වී තිබූ සාධකයකි. ලිංගිකව ප්‍රතික්ෂේපිත පලතුරු මැස්සන්ගේ NPF ග්‍රාහකය (NPF receptor- NPFR) සාමාන්‍ය මැස්සෙකුට වඩා අඩක්ම අඩුවී තිබුණි. NPF ග්‍රාහකය කෘතිමව අඩුකල විට ලිංගික තෘප්තිය ලැබූ මැස්සන්ද මද්‍යසාර වැඩියෙන් බොනු දක්නට ලැබුණි.


සමාජ-අන්තර් ක්‍රියාවන් NPF හරහා අණුක-ජීව ක්‍රියාවලියක් බවට පරිවර්තනය වීමත් මොළයේ අඩංගු NPF ප්‍රමාණය මද්‍යසාර වලට ලොල් බව තීරණය කරන, චර්යාව මෙහෙයවන සාධකයක් වීමත්, මේ පර්යේෂණයේ සිත් ගන්නා ප්‍රතිඵලයන්ය.


නියුරොපෙප්ටයිඩ් වයි (Neuropeptide Y- NPY) යන මැමේලියානු සමජාත ප්‍රෝටීනය (homologue), නින්ද, ලිංගික උනන්දුව, මද්‍යසාර භාවිතය, කාංසාව සහ ආතතිය ට සම්බන්ධ චර්යා හසුරුවන මොළයේ විවිධ ප්‍රදේශ වලට බලපාන අණුවකි.


Science ඇසුරෙනි

Posted in Biology, Cell biology, Evolution, Gene, Life, Molecular Biology, Philosophy, Science, sex | Tagged: , , , , , , , , , , | 17 Comments »